දැක්ම

හස්ත කර්මාන්ත ශිල්පීහු රැකගනිමු.

මෙහෙවර

අප දේශය ඉපැරණි ශිෂ්ඨාචාරයක් හිමි රටකි. වසර දෙදහස් පන්සියයකට වඩා පැරණි ලිඛිත මෙන්ම අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන අතර, අප රටේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ද ඒ ඉතිහාසය තරම්ම පැරණිය. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තරම් ඈත කාලයේ දී ශ්‍රී ලාංකේය අපි කපු වලින් රෙදි වියූ බව පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කර ඇත. එදා ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තය සමඟ විවිධ වූ හස්ත කර්මාන්ත ද සමාන්තර ලෙස ගොඩනැගී ඇති බව පෙන්වා දිය හැකිය. පළමුව දුරුව කර්මාන්ත ලෙස පැවති මෙම හස්ත කර්මාන්ත අපේ පැරැන්නන්ගේ දෛනික ජීවිතයේ ම කොටසක් වීය.

ගොවියා විසින් බත සැපයූ අතර, හස්ත කර්මාන්ත ශිල්පියා මුළුතැන්ගෙට හා ගොවිපලට අවශ්‍ය උපකරණ හා මෙවලම් සම්පාදනය කළේය. ඒත් හැම උපකරණයකම හා මෙවලමක ම  කැටයමකින් හෝ චිත්‍රයකින් අලංකාර කිරීමට ද එම හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පුරුද්ද විය. ඒ සඳහා ඔවුනට අවශ්‍ය කුසලතාවය ඉවසීම කාලය නොඅඩුව තිබුණු අතර ශිල්පීන්ගේ ජීවිත තුළ කලා ශිල්පීය ගුණය ද නොවඩුව තිබුණි.

හස්ත කර්මාන්ත ශිල්පියා හට සෑම විටම රජුගේ අනුග්‍රහය හිමි විය. පුරාණ ලංකාවේ රජවරු හස්ත කර්මාන්ත රැක බලාගැනීමට ධෛර්යය දුන් බව නොරහසකි. සෑමවිටම ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතාවයන් අගය කර, ගම්බර, තුටුපඬුරු ලබාදුන් අතර ඒ නිසා ඔවුන් සමාජය තුළ කැපී පෙනෙන පිරිසක් ලෙස නිරන්තරයෙන් පිළිගැනීමට ලක් විය. හස්ත කර්මාන්තය තුළින් ඉටු කරනු ලබන්නේ ආර්ථික ක්‍රියාවලියක් පමණක් නොව අනාගතය උදෙසාද අප රටේ අනන්‍යතාවය පිළිබඳව සංස්කෘතික වටිනාකමක් ද දායාද කරයි.

අද දවසේ දී හස්ත කර්මාන්තය රැක ගැනීම, වැඩි දියුණු කිරීම තුළින් ග්‍රාමීය රැකියා අවස්ථා ඇති කිරීමේ හැකියාව හා පරිසර හිතකාමී බව නැවත සහතික කිරීමද සිදුවේ. හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ  කලා හැකියාවන් හා නිමැවුම් මතු පරපුරට දායාද කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සමාජ සත්කාර වැඩසටහනක් ලෙස “අරති” ප්‍රදර්ශන මධ්‍යස්ථානය මාලිගා පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත. ඕනෑම නිර්මාණකරුවකු හට මෙම මධ්‍යස්ථානය තුළ නිමැවුම් ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කර ගැනීම සඳහා අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි. මේ තුළින් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ හෙට දවස ආලෝකමත් කිරීම ශ්‍රී දළදා මාලිගාවේ පරම පිවිතුරු අභිලාෂය වේ.